![]() |
| Sinhala Holman Katha |
කාන්චනා කියන්නෙ ගැහැණු දරුවන්ම තුන් දෙනෙක් හිටපු පවුලෙ දෙවෙනියා. විවාහ යෝජනාවකින් තමයි කාන්චනා, අනුරාධ එක්ක විවාහ වෙන්නෙ. විවාහයෙන් පස්සෙ කාන්චනා, අනුරාධලගෙ ගෙදර පදිංචියට යනවා. අනුරාධලගෙ පවුල වළව් කාරයො. පවුලෙ එකම දරුවා වුන අනුරාධ තමා මේ වළව්වෙ උරුමක්කාරයා වෙන්නෙ. වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වුන අනුරාධ විවාහයෙන් පස්සෙ තමන්ගෙ මව සහ කාන්චනා සමඟ මේ වලව්වෙ තමයි ජීවත් වෙන්නෙ. අවුරුදු කිහිපයකට කලින් හදවත් අබාධයකින් අනුරාධගෙ තාත්තා මිය ගිහිල්ලා.
ලොකු පොල් වත්තක් මැද තිබුන මේ ගාම්භීර වලව්ව බැලූ බැල්මට පෙනුනෙ ලොකු රහස් ගොඩක් හංගගෙන ඉන්න තේජාන්විත යෝදයෙක් වගේ. සේවකා සේවිකාවනුත් නොහිටපු නිසා වලව්වෙ කාමර ගොඩක් පාළුවට ගිහිං තිබුනෙ. කොච්චර පාළු වුනත් මේ හුදකලා පරිසරය වලව්වෙ වාසය කරපු අයට ලොකු නිදහසක් ගෙනල්ලා දුන්නා.
ඉතිං කොහොම හරි මේ වලව්වට තවත් සුභ ආරංචියක් ලැබුනා. කාන්චනා ගැබ් අරගෙන. අනුරාධ තාත්‍තා කෙනෙක් වෙන්නයි යන්නෙ. හැබැයි මේ ආරංචිය ලැබිලා සති දෙකකට පස්සෙ අමුතු දේවල් ටිකක් මේ වලව්වෙ සිද්ද වෙන්න ගත්තා. දවසක් රෑ කාන්චනයි, අනුරාධගෙ අම්මයි වලව්වෙ තනියෙන් ඉන්න දවසක රෑ කාන්චනාට ඇහෙනවා කවුරු හරි මිදුල අතුගාන සද්දයක්. කාන්චනා මුලින්ම හිතන්නෙ නැන්දම්මා වෙන්න ඇති කියලා. ඒත් මේ මහ රෑ මොකටද මිදුල් අතුගාන්නෙ? කාන්චනා එළියට ගිහිං බලද්දි මිදුල ලස්සන රටාවකට අතුගාලා, හැබැයි ඉදල දෙකට කඩලා දාලා. කාන්චනා, නැන්දම්මට කතා කරනවා. නැන්දම්මා මොකුත්ම නොකියා කාන්චනාව වලව්ව ඇතුලට ගිහිං දොරවල් වහනවා.
පහුවදා අනුරාධ ගෙදර ආවම කාන්චනා මේ ගැන අනුරාධට කිව්වත්, අනුරාධ කියන්නෙ සතෙක්ටවත් පෑගිලා ඉදල කැඩෙන්න ඇති බය වෙන්න එපා කියලා. තවත් දවසක රෑ කුස්සිය පැත්තෙන් ටැප් අරින සද්දයක් ඇහිලා කාන්චනා ඇහැරෙනවා. එක පාරටම මහ හයියෙන් වළඳක් බිඳෙන හඬක් ඇහෙනවා. ඒ සද්දෙට අනුරාධත් ඇහැරෙනවා. අනුරාධ කුස්සියට ගිහිං බලලා ඇවිල්ලා කාන්චනාට කියනවා. " බය වෙන්න දෙයක් නෑ වළඳක් වැටිලා. පූසෙක්වත් පනින්න ඇති."
ඒත් නැන්දම්මගෙ මූණෙ නම් තියෙන්නෙ බය වෙච්චි පෙනුමක්. නැන්දම්මා මොකක් හරි හංගනවා කියලා කාන්චනාට හිතෙන්න ගන්නවා. මෙහෙම දින කිහිපයක් ගෙවිලා ගියාම දවසක් දවල් කාන්චනා ඇඳේ ඇලවෙලා ඉන්නවා. මෙහෙම ඉන්නකොට දන්නෙම නැතුව කාන්චනාට නින්ද යනවා. මෙහෙම නිදාගෙන ඉන්නකොට කාන්චනාට හීනෙන් පේනවා බයානක පෙනුමක් තියෙන වයසක ගෑණු කෙනෙක් පන්දමක් අරන් ඇවිල්ලා කාන්චනාගෙ ඇඳට ගිණි තියෙනවා. කාන්චනා බය වෙලා ඇහෙරෙනවා. කාන්චනාට හොඳටම දාඩිය දාලා. කාන්චනා අනිත් පැත්තෙ හැරෙද්දි දකින දෙයින් කාන්චනාව තිගැස්සෙනවා. කාන්චනා හීනෙන් දැකපු නාකි ගෑණු කෙනා ජනේලෙ එල්ලිලා කාන්චනා දිහා බලන් ඉන්නවා. ඊට එහා පැත්තෙන් තරුණ ගෑණු ළමයෙක් අඬ අඬා ඉන්නවා. ඒ ගෑණු ළමයගෙ බඩ පිච්චිලා කලු පාටට අඟුරු වගේ කෑලි වැටෙනවා. කාන්චනා කෑ ගහන්න හැදුවත් බයටම සද්දෙ පිටවෙන්නෙත් නෑ. අන්තිමට කාන්චනා ගිරිය යටින් කෑ ගහනවා. එතකොට කාන්චනාගෙ නැන්දම්මත් කාමරෙට දුවගෙන එනවා.
දැන් අර නාකි ගෑණු කෙනයි, පිච්චුන ගෑණු ළමයයි නෑ. කාන්චනා, නැන්දම්මට දැකපු දේ කියනවා. නැන්දම්මා එක පාරට බය වෙලා ඇඳේ ඉඳගන්නවා.
"අම්මා මේ ගැන මොනා හරි දන්නවා නේද? මොනවද අම්මා හංගන්නෙ?" කාන්චනා වෙව්ලන කට හඬකින් අහනවා.
"මම සේරම කියන්නම් දුවේ." නැන්දම්මා කඳුළු පිහදාන ගමන් කතාව කියන්න පටන් ගන්නවා.
"එඩ්වඩ් හාමු මහත්තයා, ඒ කියන්නෙ අනුරාධගෙ තාත්තා, මාව කැන්දගෙන ආපු දවස මට තාම මතකයි. ඒ දවස් වල මේ වලව්ව මෙහෙම පාලු නෑ දුවේ. ගමේ මිනිස්සු නිතරම එනවා වලව්වට පොඩි පොඩි වැඩ කරලා දෙන්න. ගමේ මිනිස්සු හාමු මහත්තයට හරිම බය පක්ශපාතීව හිටියෙ. ඒ දවස් වල වලව්වෙ උයන පිහන වැඩ වලට හිටියා සිරියා කියලා ටිකක් වයසක ගෑණු කෙනෙක්. ඔය සිරියට හිටියා මුතුමලී කියලා තරුණ දුවෙකුත්. සිරියගෙ මිනිහා පොල් ගහකින් වැටිලා මැරිලා. වලව්වෙ ඉඩම අයිනෙම මැටි ගහලා හදපු ගෙදරක තමා ඔය සිරියයි, මුතුමලීයි හිටියෙ. කොහොම හරි එඩ්වඩ් හාමුයි ඔය මුතුමලියි අතර සම්බන්දයක් තිබිලා තියෙනවා.
මේ සම්බන්දෙ මට ආරංචි වෙනවා. මම එදා ගොඩක් ඇඬුවා. ඒත් අන්තිමට මම හිතුවා ඒ සේරම අමතක කරලා දාන්න. එඩ්වඩ් හාමුත් මට පොරොන්දු වුනා ඒ සම්බන්දෙ නවත්තන්න. ඒත් ඒ වෙද්දිත් මුතුමලීගෙ බඩට දරුවෙක් ඇවිල්ලා. අපි කොච්චර කිව්වත් ඒ දරුවා නැති කරන්න කියලා මුතුමලී ඒකට කැමති වුනේ නෑ. සිරියා විලාප දිදී ඇඬුවත්, වලව්වට තිබ්බ බය පක්ශපාතකම නිසා අපිට විරුද්ධව වචනයක්වත් කිව්වෙ නෑ. අන්තිමට වලව්වෙ නමයි පවුලෙ නම්බුවයි රැක ගන්න එඩ්වඩ් හාමුයි මායි තීරණයක් ගත්තා. වත්තෙ වැඩට හිටපු අප්පු ලවා රෑක අපි සිරියගෙ ගෙට ගිණි තිබ්බා. සිරියයි, මුතුමලියි ඒ ගින්නට පිච්චිලා මැරුනා.
ඊට මාස තුනකට පස්සෙ මගේ බඩටත් දරුවෙක් එනවා. ඔය කාලෙ තමයි අප්පු වත්තෙ තණකොල කපන්න ගිය වෙලාවක මැශින් එකට පෙට්‍රල් දාද්දි ගිණි අරන් ඔත්පල වෙන්නෙ. දවස් ගානක් දුක් විඳලා අප්පු මැරිලා ගියා. ඊට පස්සෙ මටත් ඔය දුවට පේන දේවල් පේන්න ගත්තා. ඔය පේන්නෙ සිරියගෙයි, මුතුමලීගෙයි ආත්ම දෙක. ඊට පස්සෙ අපි ලොකු තොවිලයක් කරලා පිටරට පදිංචියට ගියා. දරුවා ලැබිලා අවුරුද්දකින් තමා ආයි වලව්වට ආවෙ." නැන්දම්මා ලොකු හුස්මක් පිට කරලා කතාව ඉවර කරා.
කාන්චනා බයෙන් ගල් ගැහිලා නැන්දම්මගෙ මූණ දිහා බලන් හිටියා. පස්සෙ නැන්දම්මා කුස්සියේ උයන අතර තුරේ කාන්චනා හොරෙන්ම වලව්වෙන් පිට වෙලා යන්න ගියා. හවස ගෙදර ආපු අනුරාධ අම්මගෙන් සේරම විස්තරේ දැනගෙන, කාන්චනාව හොයාගෙන කාන්චනාගෙ ගෙදර යනවා. මේ අතරතුරේ ගෑස් සිලින්ඩරේ පුපරලා අනුරාධගෙ අම්මා ඒ කියන්නෙ කාන්චනාගෙ නැන්දම්මා මිය යනවා. අනුරාධයි, කාන්චනයි වලව්ව අතෑරලා පිටරට පදිංචියට යනවා. ගමේ මිනිස්සු දවාලකවත් මේ වලව්ව තියෙන ඉඩමට තනියෙන් යන්න බය වෙනවා. මිනිස් පුළුටක් නැති පාළු වලව්ව රහස් ගොඩක් හංගගෙන මකුළු දැල් වලිනුයි කැලෑ රොදවල් අස්සෙයි හැංගිලා යනවා.
Sinhala Holman Katha, Sathya holman කතා අහන්න කැමති අය අපේ යූටියුබ් චැනල් එක පැත්තටත් එන්න.
#HolmanKatha #SinhalaGostStories #HolmanKathaSinhala

0 Comments