Search

පළිගත් ආත්මය හොල්මන් කතාව Sinhala Holman Katha

Sinhala Holman Katha

ප්‍රියන්ත කියන්නෙ හොඳ හැඩි දැඩි පෙනුමක් තිබුන ජවසම්පන්න තරුණයෙක්. වෘත්තියෙන් ත්‍රී රෝද රථ රියදුරෙකු වෙච්චි ප්‍රියන්ත පිරිමි ළමයි දෙන්නෙක් සහ ගෑණු ළමයෙක් හිටපු පවුලෙ වැඩිමලා. ඉතිං කොහොම හරි ප්‍රියන්ත ආදර සම්බන්ධයක් පටන් ගන්නවා අල්ලපු ගමේ සෙව්වන්දි කියන තරුණියත් එක්ක. මාස කිහිපයක් ගෙවල් වලට හොරෙන් ආදර සම්බන්ධය පවත්වාගෙන ගිහිං අන්තිමට දෙන්නම තීරණය කරනවා ගෙවල් වලට මේ සම්බන්ධය ගැන කියලා ඉක්මනටම විවාහ වෙන්න.

ගෙවල් දෙකෙන්ම මේ විවාහයට මුලදි කැමැත්තක් දැක්කුවත් කේන්දර බැලුවට පස්සෙ දැනගන්න ලැබෙන්නෙ සුභ ආරංචියක් නම් නෙමෙයි. මේ දෙන්නා කසාද බැන්දොත් ලොකු අනතුරකට මූණ දෙන්න වෙනවා කියලා කේන්දරේ බලපු ජෝතීශ්‍යවේදියා කියනවා. ජීවිතය පවා අනතුරේ වැටෙන්න පුලුවන් කියලා තමයි කියන්නෙ. ඉතිං ඒ නිසා ගෙවල් දෙකෙන්ම මේ කසාදෙට විරුද්ධ වෙනවා.

අන්තිමේදි ප්‍රියන්තයි, සෙව්වන්දියි තීරණය කරනවා දෙමව්පියන්ට හොරෙන් විවාහ වෙන්න. ඉතිං මේ දෙන්නා විවාහ වෙලා, ප්‍රියන්තගෙ සීයට අයිති පොඩි ඉඩම් කෑල්ලක කාමර කෑලි දෙකක පොඩි ගෙයක් හදාගෙන පදිංචි වෙනවා. නිදන කාමරයකුයි, සාලෙකුයි, මැටි ගහලා හදපු කුස්සියකුයි තිබුන මේ පුංචි ගෙදර ප්‍රියන්තයි, සෙව්වන්දියි ආදරෙන් සතුටින් ජීවත් වෙනවා. ගේ ඉස්සරහින්ම ගලාගෙන ගියපු පුංචි ඇළ පාර මේ ගෙදරට අමුතුම සුන්දරත්වයක් එකතු කරනවා. ප්‍රියන්ත හැමදාම උදේට ත්‍රී වීල් එකත් අරන් ත්‍රී වීල් පාක් එකට යනවා. දවල් කෑමට ගෙදර ඇවිල්ලා දවල්ට කාලා ආයිත් ගෙදර යනවා. හවසට තමයි ආයි ගෙදර එන්නෙ. මේ විදියට තමා ප්‍රියන්තගෙයි, සෙව්වන්දිගෙයි දවස ගෙවිලා යන්නෙ.

කොහොමහරි නිවාඩු දවසක ප්‍රියන්ත, සෙව්වන්දිත් එක්ක ත්‍රී වීල් එකේ පොඩි ට්‍රිප් එකක් යනවා. මේ ගමන ගිහිං එද්දි පාරෙ හිටපු බැල්ලි පැටියෙක්ව මේ ගොල්ලො ගෙදර අරන් එනවා. එදා ඉඳන් මේ බැල්ලි පැටියත් පවුලෙම සමාජිකයෙක් වගේ තමයි හැදී වැඩෙන්නෙ. ප්‍රියන්ත වැඩට ගියාම සෙව්වන්දිට පාලුවක් දැනෙන්නෙත් නෑ මේ හින්දා. ඉතිං කොහොම හරි මේ බැල්ලි පැටියා ලොකු වෙලා ගැබ් අරගෙන පැටව් දාන්න ආසන්න වෙනවා.

ප්‍රියන්තලා හිටපු මේ ගමේම ඉන්නවා ගමේ හැමෝටම එපා වුන, නාහෙට අහන්නැති ආරියපාල කියලා මනුස්සයෙක්. අවුරුදු 35 ක් විතර වයස මේ අවිවාහක මනුස්සයා කොයි වෙලෙත් බීලා තමයි ඉන්නෙ. ස්ථිර රැකියාවක් කරෙත් නෑ. උගුල් අටවලා හක්ක පටස් තියලා ඌරො අල්ලලා මස් කරලා විකුණුවා. දඬු ලේනෙක්ට, තලගොයෙක්ටවත් මේ ආරියපාලගෙන් බේරෙන්න බැරි වුනා. ගෙවල් වල ඇති කරපු කුකුළ්ලු පවා මේ ආරියපාල හොරකම් කරන් ගිහිං මස් කරලා කෑවා. පිහියකුත් ඉණේ ගහගෙන ගමේ කරක් ගහන මේ මනුස්සයා, කාට එපා වුනත් කසිප්පු තිප්පොළේ නම් හොඳම ගනුදෙනුකාරයෙක් වුනා.

ඉතිං දවසක් ප්‍රියන්ත වැඩට ගිහිං ඉන්න වෙලාවක මේ ආරියපාල කියන මනුස්සයා හොඳටම බීලා ප්‍රියන්තගෙ ගෙදරට ඉස්සරහින් යද්දි, ප්‍රියන්තලගෙ බල්ලා බුරන්න ගත්තා. බුරන සද්දෙට සෙව්වන්දිත් එළියට ආවා.

"තෝ එනවද යකෝ මට බුරන්න?" කියලා බැල්ලි ලඟට පැනපු ආරියපාල, පැටව් හම්බෙන්න හිටපු බැල්ලිගෙ බඩට තද පා පහරක් එල්ල කරා. බැල්ලි කෑ ගහගෙන වේදනාවෙන් විසි වෙලා ගිහිං බිමට වැටුනා. එතනින් නැවතුනේ නැති ආරියපාල ඉනේ ගහගෙන හිටපු පිහිය ඇදලා අරන් බිම වැටිලා හිටපු බැල්ලිගෙ බඩට පිහි පාරක් එල්ල කරා. වෙච්චි කිසි දෙයක් හිතාගන්න බැරි වුන සෙව්වන්දි බිම ඉඳගෙන අඬන්න පටන් ගත්තා. ආරියපාල ලේ තැවරුන පිහිය සරමෙ පිහදාමින් එතනින් යන්න ගියා.

හවස ප්‍රියන්ත ගෙදර ආවම සෙව්වන්දි, ප්‍රියන්තට සිද්ද වුන දේ කිව්වා. කේන්තියෙන් වියරු වැටුන ප්‍රියන්ත, ආරියපාල හොයාගෙන කසිප්පු තිප්පොළ තියෙන දිහාවට යන්න ගත්තා. ප්‍රියන්තට නවතින්න කියමින් සෙව්වන්දිත් අඬ අඬාම ප්‍රියන්තගෙ පස්සෙන් ගියා. ඔහොම ටික දුරක් යනකොට හොඳටම බීලා මත් වුන ආරියපාල ප්‍රියන්තගෙ ඉස්සරහට ආවා. ආරියපාලව දැකලා කේන්තිය තවත් වැඩි වුන ප්‍රියන්ත, ආරියපාලගෙ කමිසයෙන් අල්ල ගත්තා.

"තෝද යකෝ මගේ බල්ලව මැරුවෙ?" ප්‍රියන්ත කේන්තියෙන් වියරු වැටුන ඇස් ආරියපාලගෙ ඇස් වලට යොමු කරමින් ඇහුවා.

"ඔව් යකෝ මං තමයි. තෝ මගේ කමිසෙ අතෑරියෙ නැත්තන් තෝවත් මං මරනවා මෙතනම බල්ලෙක් වගේ." ආරියපාල ඉනේ තිබුන පිහිය දිහාවට අත යවමින් කිව්වා.

ප්‍රියන්ත, ආරියපාලව තල්ලු කරලා දැම්මා. හොඳටම මත් වෙලා හිටපු ආරියපාල මුණින් අතට බිම ඇදගෙන වැටුනා. ආරියපාලගෙ ඔලුව බිම වැදිලා පැලිලා ලේ ගලන්න පටන් ගත්තා. වැඩි වෙලාවක් යන්න කලින් එතන ලේ විලක් වුනා. සිද්ද වෙච්චි දෙයින් කම්පනයට පත් වුන ප්‍රියන්ත ඇස් පිල්ලන්වත් ගහන්නැතුව ආරියපාල දිහා බලාගෙන වුනා. සෙව්වන්දි බිම දණගහගෙන අත් දෙකෙන්ම ඔලුව බදාගෙන කෑ ගහලා අඬන්න පටන් ගත්තා. එතකොටම මහ වැස්සකුත් ඇද හැලෙන්න ගත්තා. පියවි සිහියට ආපු ප්‍රියන්ත, සෙව්වන්දිවත් නැහිට්ටවගෙන වැස්සෙම ගෙදර ගියා.

මේ වෙච්චි කිසි දෙයක් කාටවත්ම නොකියා ඉන්න ප්‍රියන්තයි, සෙව්වන්දියි කතා කරගත්තා. ආරියපාලගෙ මරණය බීමත්කම නිසා පාරෙ ඇදගෙන වැටිලා සිද්ද වුන අනතුරක් විදියට මරණ පරීක්ෂණයේ ලියවුනා. ඒත් ප්‍රියන්තටයි, සෙව්වන්දිටයි නම් ආරියපාලගෙන් ගැලවීමක් ලැබුනෙ නෑ. හැමදාම රෑට හීනෙන් ප්‍රියන්තට, ආරියපාලව පේන්න ගත්තා. සෙව්වන්දිට දවල්ටත් ආරියපාලව පේන්න ගත්තා. එක එක සද්ද ඇහෙන්න ගත්තා. අන්තිමට ප්‍රියන්ත කට්ටඩියෙක් ගෙන්නලා ගෙදරට ආරක්ෂාවක් කරලා සෙව්වන්දිටයි, ප්‍රියන්තටයි දෙන්නටම නූල් බැන්දම තමා මේ කරදරය නැවතුනේ.

මෙහෙම කිහිප දවසක් යනකොට සෙව්වන්දි ගැබ් ගත්තා. ප්‍රියන්ත මේ ආරංචියට ගොඩක් සතුටු වුනා. මාස කිහිපයක් ගත වෙනකොට පරණ තරහ මරහා අමතක කරලා ප්‍රියන්තගෙ අම්මත් සෙව්වන්දිගෙ උදව්වට මේ ගෙදරට ආවා. හැබැයි මේ සතුට වැඩි කාලයක් තිබ්බෙ නෑ. සෙව්වන්දිට ආයි ආරියපාලව හීනෙන් පේන්න ගත්තා. රෑට බඩු මුට්ටු පෙල්ලෙන්න ගත්තා. දවසක් ප්‍රියන්ත හීනෙන් ආරියපාලව පෙනුනා.

"තොගේ ගැබ්බර බැල්ලිව මැරුව වගේ මම තොගේ ගැබ්බර ගෑණිවත් මරනවා බලං හිටපං." ආරියපාල හීනෙන් ප්‍රියන්තට කිව්වා.

ප්‍රියන්ත දාඩිය දාගෙන බය වෙලා කෑගහගෙන ඇහැරුනා. පහුවෙනිදා ප්‍රියන්ත සේරම විස්තරේ අම්මට කිව්වා. ප්‍රියන්තයි, සෙව්වන්දියි විතරක් දැනගෙන හිටපු ආරියපාලගෙ රහස ප්‍රියන්තගෙ අම්මත් දැනගත්තා. මාතරින් කට්ටඩියෙක් ගෙනල්ලා තොවිලයක් කරමු කියලා ප්‍රියන්තගෙ අම්මා ප්‍රියන්තව සනසන්න උත්සහ කරා. දවස් තුනකට පස්සෙ ප්‍රියන්ත වැඩට ගියපු හවස් වරුවක ප්‍රියන්තගෙ අම්මත් කඩේට ගියා. සෙව්වන්දි විතරයි ගෙදර හිටියෙ. ප්‍රියන්තගෙ අම්මා කඩේ ගිහිං ගෙදර එද්දි සෙව්වන්දි මිදුලෙ වැටිලා ඉන්නවා. සෙව්වන්දිගෙ බඩේ උල් කෝටුවක් ඇනිලා, ඔලුවත් ගලක වැදිලා පැලිලා. 

රෝහලට ගෙනියද්දිත් සෙව්වන්දිගෙ වගේම කුසේ හිටපු දරුවගෙත් ජීවිතය නැති වෙලා ඉවරයි.

සෙව්වන්දිගෙ දේහය මෝචරියට බාර දුන්න ප්‍රියන්ත, අම්මත් එක්ක ගෙදර ආවා. කිසිම හැඟීමක් නොතිබුන හිස් බැල්මක් එක්ක ගෙදර එහාට මෙහාට ඇවිදපු ප්‍රියන්ත එක පාරම නැවතුනා.

"මම දන්නවා මේක කරපු එකා. පර බල්ලා. මං එන්නම් උබ ලඟට." අත මිට මොළවමින් බිත්තියට පහරක් ගහපු ප්‍රියන්ත ගෙදරින් එළියට ගියා.

"උබ කොහෙද පුතේ ඔය යන්නෙ?" ප්‍රියන්තගෙ අම්මා ඇහුවා.

"කනත්තට" යැයි පවසමින් ප්‍රියන්ත ත්‍රී රෝද රථයත් පණ ගන්වාගෙන වේගයෙන් යන්න ගියා.

දවසකට පස්සෙ ආරියපාලගෙ සොහොන ලඟ තිබිලා ප්‍රියන්තගෙ නිසල දේහය හම්බුනා. ප්‍රියන්තගෙ ඔලුව, ආරියපාලගෙ සොහොනෙ සොහොන් ගලේ කිහිපවරක්ම වැදිලා තමයි ඒ මරණය සිද්ද වෙලා තිබුනෙ. සිය දිවි නසාගැනීමක් විදියට ප්‍රියන්තගෙ මරණය පොත් අතරට එකතු වුනා.

Sinhala Holman Katha කතා අහන්න කැමති අය අපේ යූටියුබ් චැනල් එක පැත්තටත් එන්න.

Ghost2U Youtube Channel

#HolmanKatha #SinhalaGostStories #HolmanKathaSinhala

Post a Comment

0 Comments