![]() |
| Sinhala Holman Katha |
වෘත්තියෙන් ග්‍රාම නිළධාරීවරයෙකු වෙච්චි තිස් දෙ හැවිරිදි දසුන්ට දෙවෙනි පත් වීම ලැබුනෙ ටිකක් දුශ්කර, ඒත් ලස්සන ගමක ග්‍රාම නිලධාරී කාර්‍යාලයකට. ග්‍රාම නිලධාරී කාර්‍යාලයත් එක්කම තිබ්බ පොඩි කාමර කෑල්ලෙ නවාතැන් ගන්න එක තමයි දසුන්ගෙ සැලසුම වුනේ. ඔන්න ඉතිං ටිකක් වැහිබර ඉරිදා දවසක, දසුන් තමන්ගෙ ගමන් මල්ලත් අරගෙන අලුත් පත්වීම හම්බ වෙච්චි ගමට යන්න ගමන ආරම්භ කරා. උදේම ගෙදරින් පිටත් වෙන්න හිතාගෙන හිටියත් උදේම කඩං වැටුන මහ වැස්ස, ගමන පැය දෙක තුනක් පරක්කු කරා. කොහොම හරි උදේ 10 ට විතර දසුන් අම්මටයි තාත්තටයි සමු දීලා ගෙදරින් පිටත් වුනා.
"ආ දසුන් පුතා කොහෙද මේ වැස්සෙ බෑග් එකකුත් උස්සන් යන්නෙ?" පාර අතුගගා හිටපු කමලා නැන්දා දසුන්ගෙ ඇහුවෙ හිනා වෙලා.
"මට අලුත් පත්වීමක් හම්බුනානෙ නැන්දෙ. ටිකක් දුර. මේ එහේ යන ගමන්." දසුන් උත්තර දුන්නා.
"හරි පුතේ එහෙනම් ආයි වහින්න කලින් පරිස්සමට යන්න."
පැය භාගෙක විතර බස් ගමනකින් පස්සෙ දසුන් ටවුන් එකට ආවා. තවත් පැය භාගයක් විතර බස් නැවතුම්පළේ හිටියට පස්සෙ දසුන්ට ගමන යන්න ඕනි කරන්න බස් එකට නැග ගන්න පුලුවන් වුනා. ජනේලයක් ලඟ සීට් එකකින් වාඩි වුන දසුන් බස් එකේ දාලා තිබුන පරණ සිංහල සිංදු ටික අහන ගමන් පාර දිහා බලාගෙන පැය තුනක් විතර බස් එකේ ගමන් කරා. බස් එක තේ බොන්න සයිවර් කඩයක් ලඟ නවත්තද්දි වෙලාව දවල් 2 ට විතර ඇති.
බස් එකෙන් බැහැ ගත්තු දසුන් කඩේට ගොඩ වෙලා දවල් ආහාරය ලබා ගත්තා. දවල් ආහාරය ලබා ගත්තට පස්සෙ දසුන් පාර අයිනට වෙලා ඈතින් පේන ලස්සන කඳු වැටිය දිහා බලාගෙන හිටියෙ ඒ සීතලත්, පරිසරයේ සුන්දරත්වයත් එක්ක දැනුන ඒ හැඟීමෙන් මත් වෙලා වගේ.
විනාඩි විස්සක් විතර නවත්තලා තිබ්බ බස් එක ආයි ගමන ආරම්භ කරා. දසුන්ගෙ සීට් එකෙන් ටිකක් වයසක පද්ගලයෙක් වාඩි වුනා.
"මහත්තයා මේ කොහේ යන ගමන්ද?" බුලත් කහට වලින් රතු වෙච්චි දත් පෙන්නලා හිනා වෙන ගමන් ඔහු දසුන්ගෙන් ඇහුවා.
"මට කුඹුක් හේන් ගොඩට ග්‍රාම නිලධාරී පත් වීමක් හම්බුනා මාමෙ. මම මේ එහේ යන ගමන්." දසුන් පිළිතුරු දුන්නා.
"අපේ අල්ලපු ගමනෙ මහත්තයො. මහත්තයට මන්දාරම් පාලම ලඟින් බස් එකෙන් බැහැලා තව කිලෝමීටර 3 ක් විතර යන්න තියෙනවා. පාලම ලඟම තියෙනවා මහත්තයෝ ත්‍රී විල් පාක් එකක්. ත්‍රී වීල් එකක ගියොත් මහත්තයට විනාඩි 10 න් ගිය හැකි."
හම්බුන අලුත් හිතවතත් එක්ක ආගිය තොරතුරු කතා කරමින් දසුන් ගමනේ ඉතුරු ටික ගෙවලා දැම්මා. ගමනාන්තයට ලං වෙද්දිම ආයිත් මහ වැස්සක් කඩා වැටෙන්න ගත්තා. දසුන් එක්ක කතා කර කර ආපු පුද්ගලයා දසුන්ට සමු දීලා බස් එකෙන් බැහැ ගත්තා. තව ටික දුරක් බස් එකේ ගමන් කරපු දසුන් මන්දාරම් පාලම ලඟින් බැහැ ගත්තෙ අමුත්තා කියපු විදියට ත්‍රී වීල් එකකින් ගමනෙ ඉතුරු ටික යන්න හිතාගෙන. ඒත් අවාසනාවකට එක ත්‍රී වීල් එකක්වත් තිබ්බෙ නෑ. වැස්සෙන් බේරෙන්න දසුන් ලඟ තිබ්බ කඩේකට ගොඩ වුනා.
තේ එකක් බීපු දසුන් වැස්ස පොඩ්ඩක් අඩු වුනාම රෑ කෑමට ඉඳි ආප්ප පාර්සලයකුත් අරගෙන පයින්ම ගමනෙ ඉතුරු ටික යන්න පටන් ගත්තා. වෙලාව හවස හතර හමාරට විතර වෙලා තිබුනා. කැලේ රොදවල් වලින් වට වෙච්චි කඳුකර පාරට මීදුමත් එක්ක ආපු සීතල මද අඳුර මූසල වුනත් අමුතු සුන්දරත්වයක් එකතු කරා. පාර අහගන්නවත් කවුරුත් පේන තෙක් මානෙක නෑ. ගෙයක්වත් පේන්න නෑ. දසුන් දිගටම ඉස්සරහට ගියා. මෙහෙම ටිකක් දුර යන කොට දසුන්ට ගම්බද සුන්දරත්වයක් තිබුන තරුණියක් හම්බුනා.
"කුඹුක් හේන් ගොඩ ග්‍රාම නිලධාරී කාර්‍යාලෙට තව දුරද?" දසුන් තරුණියගෙන් ඇහුවා.
"මහත්තයද අලුත් ග්‍රාම සේවක මහත්තයා?"
"ඔව්." දසුන් තරුණියට උත්තර දුන්නා.
"එන්න මහත්තයා මම පාර පෙන්නන්නම්." මේ පැත්තෙන් කෙටි පාරක් තියෙයි."
මල් මෝස්තරයකින් හැඩ වෙච්චි සුදු පාට ගවුමක් ඇඳගෙන හිටපු තරුණිය පාරෙ පැත්තකින් තිබ්බ අඩි පාරකින් ඉස්සරහට යන්න පටන් ගත්තා. දසුනුත් ඇය පස්සෙන් දිගටම ගියා. විනාඩි දහයක විතර ගමනකින් පස්සෙ දසුන්ට ග්‍රාම නිලධාරී කාර්‍යාලෙට එන්න පුලුවන් වුනා. පාර පෙන්නපු තරුණිය දසුන්ට සමු දීලා මීදුමෙන් පිරුනු පාරෙ නොපෙනී ගියා.
කාමරයට ආපු දසුන් බෑග් එකේ තිබ්බ බඩු කාමරෙන් තියලා ටිකක් නිදාගත්තා. දසුන්ට ඇහැරෙන කොට රෑ 8 ට විතර වෙලා. නාලා ඇඳුම් මාරු කරගත්ත දසුන් රාත්‍රි ආහරයත් අරන් ආයි නිදාගන්න හැදුවා. එතකොටම කවුරු හරි දොරට තට්ටු කරන්න ගත්තා.
"මහත්තයා මහත්තයා"
දසුන් ගිහින් දොර ඇරියා. දොර ඉස්සරහ හිටියෙ හවස දසුන්ට පාර පෙන්නපු ගෑණු ළමයා.
"ඇයි මොකද?" දසුන් පුදුමෙන් වගේ ඇහුවා.
"ලොකු කරදරයක් මහත්තයා. ඉක්මනට මාත් එක්ක එන්න."
දසුන් ඉක්මනට දොර වහලා, ටෝච් එකකුත් අරගෙන ගෑණු ළමයා පස්සෙන් ගියා. දිගටම දුවගෙන ගියපු ගෑණු ළමයා කන්දක් උඩට ආවා.
"කොහෙද මේ අපි යන්නෙ? මොකක්ද කරදරයක් වෙලා කිව්වෙ?" දසුන් ඇහුවා.
දසුන්ගෙ ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනුවට දසුන් දිහා බලං හිටපු ගෑණු ළමයා එක පාරට කන්දෙන් පල්ලෙහාට පැන්නා.
වෙච්චි දේ හිතාගන්න බැරි වුන දසුන් කන්ද අයිනට ගිහිං පල්ලෙහාට එබිලා බැලුවා. පල්ලෙහාට බර වුන දසුන් කකුල් දෙක ලිස්සලා කන්දෙන් පල්ලෙහාට වැටෙන්න යනකොටම පිටිපස්සෙන් ආපු මනුස්සයෙක් දසුන්ගෙ කමිසෙන් අල්ලලා පිටිපස්සට ඇදලා ගත්තා.
"මහත්තයා කොහෙද මේ රෑ යන්නෙ? තව පොඩ්ඩෙන් වැටෙනවනෙ." දසුන්ව බේර ගත්ත මනුස්සයත් එක්ක හිටපු අනිත් මනුස්සයා කිව්වා.
දසුන් ඒ මිනිස්සු දෙන්නට සේරම විස්තරේ කිව්වා.
"මහත්තයා නූලෙන් බේරිලා තියෙන්නෙ. මේ උඩහා දිය ඇල්ලෙන් තමා ගමට වතුර ගන්නෙ. වැස්සට බටයක් කැඩිලද කොහෙද වතුර එන්නෑ. අපි මේ ඒක බලන්න යන ගමන්. මහත්තයගෙ වාසනාවට තමා බටේ කැඩිලා තියෙන්නෙ."
"එතකොට මෙතනින් පැනපු ගෑණු ළමයා?" දසුන් ඇහුවා.
"ඒ සිරිමලී මහත්තයෝ. කලින් හිටපු ග්‍රාමසේවක කෙනෙක් ඔය කෙල්ලත් එක්ක සමබන්ධයක් තිබිලා අන්තිමට ඔය කෙල්ලව අනාත කරලා යන්න ගියා. අම්මා තාත්තට මූණ දෙන්න බැරුව ඔය කෙල්ල අවුරුදු තුනකට විතර කලින් මෙතනින් පැනලා දිවි නහගත්තා. එදා ඉඳන් ගමේ කීප දෙනෙක්ම සිරීමලීගෙ අවතාරෙ දැකලා බය වුනා. මහත්තයත් ඔය දැකලා තියෙන්නෙ සිරිමලීගෙ අවතාරෙ."
Sinhala Holman Katha කතා අහන්න කැමති අය අපේ යූටියුබ් චැනල් එක පැත්තටත් එන්න.
#HolmanKatha #SinhalaGostStories #HolmanKathaSinhala

0 Comments