Search

කලුවර අඳුන හොල්මන් කතාව (Holman Katha)

Sinhala Ghost Story (Holman Katha)

මේක ටිකක් ඉස්සර කාලෙ පරණ ගමක ගුරුන්නාන්සෙ කෙනෙකුට සිද්ද වෙච්චි සිදුවීමක්. ගොඩක් අය අහලා ඇතිනෙ කලුවර අඳුන කියලා නොපෙනී යන්න පුලුවන් බෙහෙතක් ගැන. මේ කලුවර අඳුන කියන බෙහෙතෙන් ටිකක් නලල මැද්දෙ ගෑවම නොපෙනී යනවා කියලා තමයි කියන්නෙ. ඉතිං කොහොම හරි මේ කලුවර අඳුන හදන එක ලේසි වැඩක් නෙමෙයි. මේක කරන්න පුලුවන් ගොඩක් පළපුරුදු ගුරුන්නාන්සෙ කෙනෙකුට විතරයි. ගුරුන්නාන්සෙගෙ උදව්වට ගෝලයො හතර දෙනෙකුත් ඕනි වෙනවා. 

ඉස්සර කාලෙ පාලු කැලෑවල් වල තමයි මිනිස්සු වල දාන කනත්තවල් තිබ්බෙ. ඉතිං මේ කලුවර අඳුන හදාගන්න වැඩේට මුලින්ම පාළු කනත්තක, අලුත වල දාපු මිනී වලක් හාරන්න ඕනිලු. ඊට පස්සෙ ඒ මළ සිරුර ගොඩට අරන් මිනී වල දිහාවට මූණ හැරිලා තියෙන විදියට ගහක ගැට ගහන්න ඕනිලු. ඊලඟට ගුරුන්නාන්සෙ යන්න ඕනි මිනී වළ ඇතුළට. මිනී වළ ඇතුලෙ පැදුරක් දාගෙන අකුරක්වත් වරද්දන්නැතුව මන්තර ටික මතුරන්න ඕනි. මොන දේ වුනත් මන්තරේ නවත්තන්න හොඳ නෑ. පොඩ්ඩක් හරි වැරදුනොත් කාටවත් පණ පිටින් ගෙදර යන්න වෙන්නෑ. ගෝලයො හතර දෙනා බිලි හතරක් අරහගෙන මිනී වල හතර පැත්තෙන් හිට ගන්න ඕනි. බිත්තරයකුයි, හාවෙකුයි, උක් ගහකුයි, කුකුළෙකුයි තමා බිලි විදියට ගන්නෙ.

ඉතිං මෙහෙම කට්ටිය සූදානම් වෙලා ගුරුන්නාන්සෙ මතුරන්න ගත්තම ටික වෙලාවකින් කැලේ ඇතුලෙන් එනවලු නයෙක්. එතකොට බිත්තරේ අතේ තියෙන ගෝලයා ගිහිං නයාට බිත්තරේ දෙන්න ඕනි. ඊට පස්සෙ එනවා මනුස්සයෙක්. හාවා අතේ තියෙන ගෝලයා ගිහිං ඒ මනුස්සයට හාවා දෙන්න ඕනි. ඊලඟට එනවා අලියෙක්. අලියට දෙන්න ඕනි උක් ගහක්. අන්තිමට එනවා යකෙක්. යකාට දෙන්න ඕනි කුකුළ් බිල්ල. මේ විදියට එක එක වේශ අරන් එන්නෙ මහසෝණා කියලා තමයි කියන්නෙ. කලබල වෙන්නෙ නැතුව හරියටම බිලි ටික දෙන්න ඕනි. ඔය ටික හරියට කරාම මහසෝණා අර ගහේ ගැටගහපු මළ සිරුරට ආවේශ වෙලා මිනී වල ඇතුළට දිව දික් කරනවා. එතකොට ගුරුන්නාන්සෙ පිහියකින් දිවේ කෑල්ලක් කපා ගන්න ඕනි. මේ දිව මිරිස් ගලේ අඹරලා මතුරලා තමයි කලුවර අඳුන හදාගන්නෙ. මෙහෙම අඹරද්දි මිරිස් ගල යටින් කාසියක් තියනවලු. බෙහෙත සාර්තක නම් මිරිස් ගල හරහා අර කාසිය පේන්න ගන්නවලු.

ඉතිං අද අපි කියන්න යන්නෙ මේ කළුවර අඳුන හදන්න ගිය තරුණ ගුරුන්නාන්සෙ කෙනෙක් ගැන. මේ ගුරුන්නාන්සෙට කාලෙක ඉඳන් වුවමනාවක් තිබුනා මේ කලුවර අඳුන හදන්න. ගමේ මනුස්සයෙක් මැරිලා කනත්තෙ වලදානකම් තමයි මේ ගුරුන්නාන්සෙ ඇඟිලි ගැන ගැන බලං හිටියෙ. ඔන්න එතකොට තමයි ගමේ හිටපු සුමනපාල මාමට නයෙක් ගහලා නැති වෙන්නෙ. සුමනපාල මාමව කනත්තෙ භූමදානය කරපු දවසෙ ගුරුන්නාන්සෙ ගෝලයො හතර දෙනෙක් එක්ක මහ රෑ යනවා කනත්තට. ගමේ කෙළවරේ මහ කැලයක් මැද තමයි මේ කනත්ත තියෙන්නෙ. පේන තෙක් මානෙක ගෙයක් නෑ. කෑ ගැහුවත් ගමට ඇහැන්නැති තරම් දුර. කොහොම හරි ගුරුන්නාන්සෙ ගෝලයො හතර දෙනත් එක්ක ගිහිං සුමනපාලගෙ මිනී වල හාරලා මිනී පෙට්ටිය ගොඩට ගන්නවා. ඊට පස්සෙ මිනී පෙට්ටිය ඇරලා සුමනපාලගෙ මළ සිරුර ගොඩට අරන් මිනී වල ඉස්සරහම තිබ්බ සියඹලා ගහේ ගැට ගහනවා. මේක ගලවගන්න බැරි තදට ගැට ගහන්න ඕනි. මිනිය ආවේශ වුනාම දඟලද්දි කඹේ ලෙහුනොත් සේරම ඉවරයි. ඔන්න ඊලඟට ගුරුන්නාන්සෙ මිනී වළට බැහැලා පැදුරත් එළාගෙන මතුරන්න ගත්තා. ගෝලයො හතර දෙනත් බිලි හතර අරගෙන මිනී වල හතර පැත්තෙන් හිට ගත්තා.

පැයක් විතර මතුරන කොට මහ හුළඟක් හමන්න පටන් ගත්තා. ගස් වල අතු ඇඹරිලා ලොකු ඝෝශාවක් ආවා. ටික වෙලාවකින් කැලේ ඇතුලෙන් නයෙක් ආවා මිනී වල පැත්තට. ගුරුන්නාන්සෙ දිගටම මතුරනවා. ගෝලයෙක් ගිහිං නයාට බිත්තරේ දීලා ආවා. ආයි ටික වෙලාවකින් මනුස්සයෙක් ආවා. හාවා අතේ තියන් හිටපු ගෝලයා ගිහිං හාවව දීලා ආවා. ඊලඟට ආවා අලියෙක්. අලියටත් උක් ගහක් ආවා. අන්තිමට ආවා ගොරක් ගෙඩි වගේ ලොකු ඇස් තියෙන දත් විළිස්සගත්තු යකෙක්. කුකුළා අතේ තියන් හිටපු ගෝලයා කුකුළත් අරන් යකක් දිහාවට දුවගෙන යද්දි කකුල පැටලිලා වැටුනා. කුකුළත් පැනලා ගියා. ගුරුන්නාන්සෙගෙ මැතිර්‍රල්ලත් නතර වෙලා ඇස් උඩ ගියා. එක ගෝලයෙක් විතරක් බේරිලා දුවලා ආවා. පහුවදා උදේ බලද්දි ඉතුරු ගෝලයො තුන් දෙනා අගිය අතක් නෑ. ගුරුන්නාන්සෙ ලේ පෙරාගෙන මිනී වළ ඇතුලෙ මැරිලා ඉන්නවා. අඳුරගන්න බැරි විදියට මූණ විකෘති වෙලා. බේරිලා ආපු ගෝලයත් සතියක් උණ විකාරෙන් කෑ ගගහා හිටියා. අට වෙනි දවසෙ ගෙදර මිනිස්සු බලද්දි ලෙඩා ඇඳේ නෑ. පස්සෙ ගමේ දිය ඇල්ලෙ ගල් තලාව උඩ වැටිලා තියෙද්දි තමයි මළ සිරුර හම්බුනේ. කොන්ද මැද්දෙ රතු පාට අතක සලකුණකුත් තිබිලා තියෙනවා.

Holman Katha කතා අහන්න කැමති අය අපේ යූටියුබ් චැනල් එක පැත්තටත් එන්න.

Ghost2U Youtube Channel

#HolmanKatha #SinhalaGostStories #HolmanKathaSinhala

Post a Comment

0 Comments